Pages

Wednesday, 28 August 2013

සංවේදී මිනිසුන් උදෙසා......
දොළ පාර හරස් කර විදුලිය හදා
රටට නම ගෙන ගිය පුංචි පාසල

 එක් පසෙකින් ඇත්තේ කබරගල කන්ද ය. අනෙක් පසින් ඇත්තේ සිංහරාජ වනපෙතේ බටහිර මායිමයි. තවත් පසෙක් ඇත්තේ ගිගුරුව කන්දයි. ගිං ගඟ ද පසෙකින් ගලා බසියි. පරිසරය සොඳුරු ය. එහෙත් ඒ සොඳුරු බව යටපත් කරගෙන ජීවත්වන්ට වෙර දරන මිනිසුන්ගේ ජීවිතවල කටුක බව, දුෂ්කර බව මතුව එයි. විටෙක සොඳුරු බවින් පිරුණ ස්වභාව දහම ද විටෙක ඔවුන්ට එරෙහිව නැඟි සිටින්නේ ය. කැලයේ පිපී පරව යන්නට නොව ලොවම සුවඳ කරන්නට, හෙට ලෝකය දිනන දරු දැරි පිරිසක් හා ඔවුන්ට ලෝකය දකින්නට දෙනෙත් පාදන ගුරු මවු පියවරු සොයා උඩුගම කලාපයේ, තවලම කොට්ඨාසයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටුවන්ගල නවෝද්‍යා පාසල සොයා ගිය ගමනකි මේ.කුඩා කඳු ගැටයක් උඩට වන්නට පිහිටි බටුවන්ගල නවෝද්‍යා පාසල වර්තමානයේ අන්තර්ජාලය හරහා බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇති විද්‍යාලයකි. කලක් ඉතාම නොදියුණු තත්ත්වයෙන් පසුවූ මෙම ප්‍රදේශයට අද වන විට විදුලි පහසුකම් ඇත්තේය. “බටුවන්ගල පාසල අපට සුවිශේෂි වන්නේ ඇයි?”ඔබට සිතෙනු ඇත.
අරුණ ගුරු මහතා
ස්වාභාවික දිය පහරක් හරස් කොට පාසල් දරුවන්ට මඟ පෙන්වමින් ඔවුන්ගේ සහාය ලබා ගනිමින් තවත් බොහෝ දෙනෙකුගේ සහාය ලබා ගනිමින් ද අරුණ නම් වූ තරුණ ගුරුවරයා හා අනෙකුත් ගුරුවරුන්ගේ ද දායකත්වයෙන් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකොට ලබා ගත් විදුලියෙන් පරිගණක ක්‍රියාත්මක කිරීම ඒ විශේෂත්වයට හේතුවයි. මෙම පාසලේ විදුහල්පතිනිය තිලකා විජේනායක මහත්මිය අප හා පැවැසුවේ,“අපේ පාසල පටන් අරගෙන අවුරුදු අසූවකට පමණ ආසන්නව ඇති. එක්දහස් නමසිය තිස් පහේ අවුරුද්දේ ඉඳලා ලොග් සටහන් තියෙනවා. අද වන විට අපේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තුන්සිය හතළිස් හත්දෙනකු ඉගෙනුම ලබනවා. ගුරුවරු ඉන්නේ විස්සයි. උසස් පෙළ දක්වා පංති පැවැත්වෙනවා. මේ ගමේ දරුවෝ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වෙන්නේ. අම්මලා තාත්තලාට හරියට රැකියාවක් නැහැ. ඇතැම් අයට තියෙන්නේ තේ ආදායම, තේ ආදායම තියෙනවා කිව්වට මහ ලොකු තේවතු නැහැ. පර්චස් විස්සේ විසිපහේ තේවතු තියෙන්නේ. සමහර දරුවෝ හැතැප්ම ගණන් පයින් එන්නේ. වැහි කාලෙට ඒ දරුවන්ට ඒදඬු වලින් එගොඩ වෙලා පාසලට එන්න බැහැ. දවස් දෙකේ තුනේ මහා වැස්සක් වැස්සොත් පාසල අවට යට වෙනවා. මේ අවට ගම්වල ජීවත්වන දෙමව්පියන්ගේ උගත්කම අඩුයි. එහෙම වුණත් අපේ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට උනන්දුව හා ඕනෑකම තියෙනවා. ඔවුන් කැපවීමෙන් ඉගෙන ගන්නවා. අපට තිබෙන සතුට එයයි. දරුවන්ගේ ප්‍රතිඵල ඉතා හොඳයි. අපි මේ පාසලේ උසස් පෙළ පන්ති පටන් ගත්තේ එක්දහස් නමසිය අනූව අවුරුද්දේ. ගණිතය අසමත් වූ දරුවෝ තමයි ඒ පංතිවල හිටියේ. අදටත් එහෙමයි. ඔවුන් නැවත ගණිතය විෂය සමත් කර දීමේ පොරොන්දුව මත උසස් පෙළ ඉගෙනුම ලබනවා. ඒ දරුවෝ නැවත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ගණිතය විෂය සමත් වුණා. මෙවර උසස් පෙළ සිසු සිසුවියන් දාහත් දෙනෙක් ගෙන් හතර දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුවා.
විදුහල්පතිනි තිලකා විජේනායක මහත්මිය
නෙළුව කොට්ඨාසය තුළ උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් දෙකයි තිබෙන්නේ. ඉන් එක් පාසලක් තමයි අපේ පාසල. අපිට ගුරුවරුන්ගේ අඩුපාඩු තිබෙනවා. දැන් වසර හයක් තිස්සේ මේ විද්‍යාලයට විද්‍යා ගුරුවරයෙක් නැහැ. කෘෂි විද්‍යාව උගන්වන ගුරුවරයාම තමයි විද්‍යා විෂය උගන්වන්නෙත්.”සීමිත සම්පත් මධ්‍යයේ වුවද දරුවන් වෙහෙස වන්නේ තම ඉලක්කය සපුරා ගැනීමටය. මසකට දෙකකට වරක් තම ගෙවල් දොරවල් බලා යමින් පාසල අවට නේවාසිකව සිටිමින් බටවුන්ගල ගුරුවරු අනේක දුක් පීඩා විඳිමින් දරුවන්ට අකුරු කරවති.
විදුලිය ක්‍රියාත්මක කිරීම
විදුලිය නිපදවන යන්ත්‍ර
අඩුපාඩුකම් තිබුණ ද ඒ මතින් නැගි සිටීමට වෙර දරන බටුවන්ගල විද්‍යාලයේ දරු දැරියන්ගේ උත්සාහය ඇගැයීමේ අරමුණින් අපි ඔවුන් විසින් ඉදිකරනු ලැබු කුඩා බලාගාරය නැරැඹීමට ගියෙමු.පීලි ඇල්ල හරස්කර ගොඩනැගු බලාගාරය දැක ගැනීමට ප්‍රථම අපි පීලි ඇල්ල මුදුනට ගියෙමු. එය පායනා කාලයේ දී සෙමින් ගලා බසින දිය ඇල්ලකි. වර්ෂා කාලයේදී එය හැඩකාරය. අතු ඉති නැමි සෙවණ වූ ගල මත සිට අපි පහළ බැලුවෙමු. හෝ හෝ හඬින් ගලා බසින ඇල්ල වැටෙන්නේ ඔයටය. එය හරස්කර බැදුන විට එහි ප්‍රතිඵලය අත්විඳින්නේ බටුවන්ගල පාසලේ දරු දැරියෝය. මෙම කාර්යයේ පුරෝගාමියා එම විද්‍යාලයේ අරුණ චමින්ද පුෂ්ප කුමාර ගුරු මහතාය.අපේ පාසලට තොරතුරු තාක්ෂණය ලැබුණේ දෙදහස් හත වසරේදී. ඒ කාලේ මෙය බලා කියා ගත්තේ සරත් ඕබඩමුදලිගේ මහතා. ඔහු විද්‍යාලයේ ගණිත ගුරුවරයා. මම මගේ පළමු පත්වීම ලැබිලා ආවේ මේ පාසලට. ඒ ආවේ ඉංගි‍්‍රසි ගුරුවරයා හැටියටයි. සරත් සර් විදුහල්පතිනිය සමඟ කතාබහ කරලා පරිගණකාගාරය මට භාර දුන්නා. මට මෙය අභියෝගයක් වුණා. මට ඕනැ කළේ මේ දරුවන්ව ලෝකයට ගෙනියන්න. මම පාසලට වෙබ් අඩවියක් හැදුවා. මුල් කාලයේදී පරිගණක භාවිත කරන දරුවන්ගෙන් අපට මුදල් අය කරන්න සිදුවුණා. ඒ පරිගණක සඳහා වැය වන විදුලි බිල ගෙවා ගැනීමට. නමුත් මුල් කාලයේදී ඉතා උවමනාවෙන් ආව ගිය දරුවෝ අඩුවෙන්න ගත්තා. අපේ විදුලි බිල රුපියල් තිස් දාහක් පමණ වුණා. එය ගෙවා ගැනීමට දරුවන්ගේ දෙමාපියන්ට කියන්න බැහැ. මෙහෙම සිටින විට තමයි විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අපේ විදුලි බිල ගෙවා දමන්න උදව් කළේ. මේ අතර තමයි මට පාන්දරට දිය ඇල්ලේ සද්දේ ඇහුණේ. මම මේ පාසලට ආව මුල් කාලේ නතර වෙලා හිටියේ පාසලේම. පාසලේ දරුවෝ සමඟ දියඇල්ල බලන්න ගියා. දියඇල්ලෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන ය කියන අදහස ආවේ එතකොට. අපි මේ ගැන තොරතුරු හෙව්වා. උදව් කරන්න කැමැති අය හෙව්වා. ඒ අනුව තමයි ප්‍රධාන ඉංජිනේරු රෝහිත ආනන්ද මහතා මුල්වී විශ්ව විද්‍යාල ළමයි දොළහක් පමණ එක්වී මේ බලාගාරය හැදුවේ.
විදුලිය නිපදවීමෙන් පසුව
ඔයට ජලය ගලා යද්දී...
මේ කාර්යයේ දී හරිනි අමරසූරිය මහත්මිය, දිලීප විතාරණ මහතා බොහෝ උදව් කළා. මේ හරහා නිපදවන විදුලියෙන් පරිගණක හතරක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. අපේ කටයුතුවලදී ධර්මසිරි වීරසිංහ මාලා වීරසිංහ යුවළ බෙහෙවින් උදව් උපකාර කළා. මේ කාර්යයෙන් පසුව දෙමවුපියන් නිදහස්. දරුවෝ නැවත පරිගණක පුහුණුවට ආවා. ඔවුන් අන්තර්ජාලය හරහා ලෝකය සමඟ සම්බන්ධ වුණා. මොරටුව විශ්ව විද්‍යාලය මේ කාර්යයේදී අප සමඟ අත්වැල් බැඳ ගත්තා. දුෂ්කර පළාතක හිඳ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කරන අරුණ ගුරු මහතා ආ ගමන්මඟේ දුෂ්කරතා මෙන්ම සතුටු පුවත් ද අප හා පැවැසුවේය. අද වන විට බටුවන්ගල විද්‍යාලයේ දූ පුතුන් අන්තර්ජාලය හරහා බොහෝ සබඳතා පවත්වන්නේය. දේශීයව මෙන්ම විදේශීයව ද අද වන විට අන්තර්ජාලය හරහා බටුවන්ගල විද්‍යාලය ප්‍රසිද්ධියට පත්ව සිටී.කලා අංශයේ ඉගෙනුම ලබන නිරෝෂා ලක්මාලි සිසුවිය අන්තර්ජාලය හරහා ලෝකයට යන්නට දොර කවුළු විවර වීම පිළිබඳව සිත ඇති සතුට පැවැසුවාය.
පීලිඇල්ල මුදුන
අපේ පළාතේ තියෙන පාසල් වලින් හොඳම පාසල මෙයයි. අරුණ සර් එන විට මම ඉගෙන ගත්තේ නමය පන්තියේ. ඒ කාලේ අපිට පරිගණකාගාරයක් තිබුණත් එහි ක්‍රමානුකූලව වැඩ කෙරුණේ නැහැ. නමුත් සර් ආවට පස්සේ හැම දෙයක්ම ක්‍රමානුකූලව සිදු කෙරුණා. අද වෙනකොට අපිට හරිම සතුටුයි. තොරතුරු තාක්ෂණය ඔස්සේ අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. අපේ බ්ලොග් එක බලන අය ඉන්නවා. ඔවුන් අපි සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල ඉන්න අය අපේ පාසලට උදව් කරනවා. විදුහල්පතිතුමියගේ මඟ පෙන්වීමත් අරුණ සර්ගේ මඟ පෙන්වීමත් කැපවීමත් නිසා තමයි මේ හැම දෙයක්ම අපට ලැබුණේ.අරුණ මහතා තොරතුරු තාක්ෂණය හරහා ‘ස්කයිෆ්’ මඟින් ජපානයේ වෙසෙන කිහිප දෙනෙකුට ඉංගි‍්‍රසි අධ්‍යාපනය ලබා දුන්නේය. ඒ හරහා ද පාසලට ලැබුණු ප්‍රතිලාභ විශේෂිතය. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ අරුණ තම දැනුමින් ලැබෙන සියලු ප්‍රතිලාභ ලබා දෙන්නේ බටුවන්ගල පාසලටය. එහි දරු දැරියන්ටය. බටුවන්ගල විද්‍යාලය කෙරෙහි පැහැදුණු සුදුහුම්පොල විමලසාර හිමියෝ පාසලට උදව් උපකාර කළහ.
පරිගණක ඒකකය
දැයේ දූ දරුවන් තුළ රට පිළිබඳව ආකල්පමය වර්ධනයක් ඇති කිරීම මෙන්ම රට කෙරෙහි ආදරයක් ඇති කිරීමෙහි අරමුණින් රටපුරා පාසල් දරුවන් අරමුණු කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අරඹන ලද ‘මදර් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට අනුව බටුවන්ගල විද්‍යාලයේ දරු දැරියෝ ද එහි සාමාජිකයෝය. ‘මදර් ශ්‍රී ලංකා පාසල් සමාජයේ’, සාමාජික පාසලක් ලෙස බටුවන්ගල විද්‍යාලය විසින් කරනු ලබන ව්‍යාපෘති ගණනාවකි. මෙහිදී මදර් ශ්‍රී ලංකා පාසල් අතර පැවැති තරගවලදී බටුවන්ගල විද්‍යාලය පස්වැනි තැනටත් පළාත් මට්ටමින් දෙවැනි තැනටත් තේරි පත් වූයේය. බොහෝ දුෂ්කර ගමන් මඟක් ගෙවා පාසලට පැමිණෙන දරු දැරියෝ පොත පත ඉගෙනීමට අමතරව වෙනත් ක්‍රියාකාරකම්වල ද නියැලෙන්නේය. ඒ අනුව ගෙවතු වගාව, ඩෙංගු මර්දන වැඩ සටහන්, ඔසු උයන්, ශ්‍රමදාන ආදිය ද ක්‍රියාත්මක කරන්නේය. ඊට අමතරව බෝධි පූජා, වැඩිහිටි උපහාර, රණවිරු උපහාර, පිරිත් පිංකම් ආදි වූ සමාජ සත්කාර ද සංවිධානය කරන්නේය.මේ සියලු කටයුතු කැරෙන්නේ ‘මදර් ශ්‍රී ලංකා’ පාසල් සමාජය විසිනි.මදර් ශ්‍රී ලංකා පාසල් සමාජයේ ප්‍රධාන අනුශාසක ලෙස විදුහල්පති තිලකා විජේනායක මහත්මිය ද උප අනුශාසකවරුන් ලෙස දීපිකා හේවගේ මහත්මිය, නියෝජ්‍ය විදුහල්පති සුදත් විතානච්චි මහත්මයා ද, මදර් ශ්‍රී ලංකා සංගමය භාර ආචාර්යවරයා ලෙස මහේෂ් වික්‍රමසූරිය මහතා ද කටයුතු කරන්නේය.මේ සියල්ලන්ගේම අරමුණ බටුවන්ගල පාසලේ දරු දැරියන්ගේ අනාගතය සුබදායක කිරීමය.

0 comments:

Post a Comment